ආඩුයිනෝ එකෙන් මෝටරයක් පාලනය කරමු.
නිරෝගිමත් දවසක් යාලුවේ. අද අපි කතා කරන්න යන්නෙ Arduino භාවිතා කරමින් කුඩා සරල ධාරා (DC) මෝටරයක් පාලනය කරන්නෙ කොහොමද කියලා.
මෝටරයක් පාලනය කරද්දි අපිට මෝටරයේ වේගය සහ මෝටරය කැරකෙන දිශාව සලකන්න වෙනවා. සාමන්‍යයෙන් arduino එකේ ඕනෑම IO pin එකකින් පිටතට ලබා දෙන්න පුලුවන් 5V / 20mA වගේ කුඩා ධාරාවක් පමනයි. නමුත් මෙය මෝටරයකට ප්‍රමාණවත් වෙන්නේ නෑ.
දැන් ඔබට පැහැදිලි ඇති අපිට මෝටරයක් කෙලින්ම arduino එකේ IO pin වලට සම්බන්ද කර පාලනය කරන්න නොහැකියි කියලා. මෙන්න මේ වෙලාවෙදි තමයි අපිට මෝටරය සහ ආඩුයිනෝ එක අතරට motor driver කියන විශේශ කොටසක් යොදන්න වෙන්නේ. මේ motor driver එක විදියට අපිට transistor එකක්, relay එකක් හෝ transistor හෝ relay භාවිතයෙන් සාදාගත් H- Bridge කියන විශේශිත සැකැස්ම භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම වෙලදපොලේ තියෙන motor driver board එකක් උනත් අපිට මේ සදහා භාවිතා කරන්න පුලුවන්.
දැන් අපි මේ එක් එක් ක්‍රම ගැන වෙන වෙනම සලකා බලමු.
මුලින්ම බලමු ට්‍රාන්සිස්ටරය යොදාගෙන මේ වැඩේ කරද්දි තියෙන වාසි සහ අවාසි මොනවද කියලා.
එක් ට්‍රාන්සිස්ටරයක් භාවිතයෙන් අපිට මෝටරයේ වේගය විතරයි පාලනය කරන්න පුලුවන්. දිශාව වෙනස් කරන්න බැහැ.
අපිට මේ සදහා PNP, NPN හෝ MOSFET එකක් ගන්න පුලුවන්. මෙතනදි ඒ ට්‍රාන්සිස්ටරය හරහා යොදන්න පුලුවන් Voltage සහ Current ගැන සලකා බලන්න වෙනවා. නමුත් අපි මෙහිදී භාවිතා කරන්නෙ 6V / 300mA වගේ කුඩා ධාරාවක් ගන්නා මෝටරයක් නිසා ඔයාලා එදිනෙදා භාවිතා කරන D313, D400 වගේ NPN ට්‍රාන්සිස්ටරයක් මේ සදහා භාවිතා කරන්න පුලුවන්. මම භාවිතා කරන්න යන්නෙ D400 කියන ට්‍රාන්සිස්ටරය. මෙම ට්‍රාන්සිස්ටරය හරහා 25V / 1A යවන්න පුලුවන්. මේ ට්‍රාන්සිස්ටරයේ Datasheet එක මෙතනින් Download කරගන්න.
මේ තියෙන්නෙ වැඩේට අවශ්‍ය උපාංග ටික.
1x Arduino UNO
1x D400 NPN Transistor
1x 1K Ohm Resistor
1x Small DC Motor
1x 1N4007 Diode
Jumper Wires
1x Breadboard
මේ විදියට පරිපතය අටවගන්න.
අපි මෙතනදි coding සදහා භාවිතා කරන්නෙ analogWrite(pin, value) කියන keyword එක. analogWrite ගැන දන්නෙ නැති අය මුලින්ම මෙතනින් ඒ ලිපිය කියවලා එන්න. ඒ වගේම pin එක විදියට ගන්න පුලුවන් වෙන්නෙ PWM pin එකක්. අවම වේගය ට අදාල වෙන්නෙ 0 කියන අගය. උපරිම වේගය සදහා value එක වෙන්නෙ 255. මෙතනින් download කරගන්න code එක. මේ තියෙන්නෙ මීට අදාල Video එක.
අමතර උපාංගයක් විදියට potentiometer එකක් උදව්වෙන් මෝටරයේ වේගය ලබාදෙමින් මෝටරය පාලනය කිරීමට මම ගත්ත උත්සහය සාර්තක උනා. මේ තියෙන්නෙ එහි පරිපත සටහන සහ code එක. මෙතනින් download කරගන්න.
හරි. දැන් අපි බලමු relay එකකින් කොහොමද මේ වැඩේ කරගන්නෙ කියලා. මෙතනදිත් මුලින්ම relay එක on / off කරන්න ට්‍රාන්සිස්ටරයක් අවශ්‍ය වෙනවා. නමුත් කලින් වගේ මෝටරයේ ධාරාව අනුව ට්‍රාන්සිස්ටරය තෝරගන්න ඕනෙ වෙන්නෙ නෑ. ට්‍රාන්සිස්ටරයෙන් කරන්නෙ relay එක on / off කරන එක නිසා අපිට මේ සදහා BC547, BC548, C828 වගේ transistor එකක් උනත් ගන්න පුලුවන්. මම මෙතනදි යොදාගන්නෙ BC548 කියන transistor එක. මේ ට්‍රාන්සිස්ටරයෙන් 30V / 100mA පමන ධාරාවක් පාලනය කරන්න පුලුවන්. Relay එකක් සදහා මෙය හොදටම ප්‍රමාණවත්. මේ ට්‍රාන්සිස්ටරයේ Datasheet අවශ්‍ය අය මෙතනින් Download කරගන්න. relay එක විදියට අපි සාමන්‍යයෙන් භාවිතා කරන 6V හෝ 12V relay එකක් ගන්න පුලුවන්.
ට්‍රාන්සිස්ටර ක්‍රමයට වඩා මේ ක්රමයේ අවාසිය තමයි අපිට මේ විදියට මෝටරයේ වේගය හෝ දිශාව පාලනය කරන්න බැහැ. මෝටරය on / off කිරීම පමනයි සිදු කරන්න පුලුවන්. නමුත් relay එකකින් සාමන්‍යයෙන් 24V / 10A පමණ ධාරාවක් උවත් on / off කරන්න පුලුවන් නිසා අපිට මෙමගින් 12V වාහන viper motor එකක් උවත් පාලනය කරන්න පුලුවන්. මෙතනදි අපිට PWM විදියට relay එක පාලනය කරමින් මෝටරයේ වේගය පාලනය කරන්න හැකියාවක් නැහැ. මොකද PWM වලදී arduino PWM pin වලින් නිපදවෙන 920Hz වැනි සංඛ්‍යාත වලට relay එක ප්‍රතිචාර දක්වන්නේ නැති නිසා.
මේ වැඩේදි අපි යොදාගන්නෙ ආඩුයිනෝ coding වල එන digitalWrite() keyword එක. මේවා ගැන මම කලින් කියලා දීලා තියනවා. දන්නෙ නැති අය මෙතනින් කියවලා දැනගන්න.
මේ තියෙන්නෙ වැඩේට අවශ්‍ය උපාංග ටික.
1x Arduino UNO
1x 6V Relay
1x BC548 NPN Transistor
1x 1K Ohm Resistor
2x 1N4007 Diode
1x Small DC Motor
Jumper Wires
1x Breadboard
මේ තියෙන්නෙ පරිපත සටහන
code එක download කරගන්න මෙතනින්. මේ තියෙන්නෙ මීට අදාල Video එක.
මම මේ වැඩේම අමතර උපාංගයක් විදියට push button එකක් යොදාගනිමින් අත්හදා බැලුවා. ඊට අදාල diagram එක සහ code එක මෙතනින් download කරගන්න.
ඉතින් යාලුවේ ඔයාලා අද ලිපියෙන් ඉගෙනගත්තේ මෝටරය on / off කිරීම සහ වේගය වෙනස් කිරීම කියන කොටස් ගැන විතරයි. මේ එක්කම මෝටරයේ දිශාව පාලනය කරන ක්‍රමයකුත් තියනවා. ඒ තමයි H-Bridge කියන ක්‍රමය. ඒ ගැන වෙනත් ලිපියකින් ඔයාලට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. එහෙනම් තවත් අලුත් ලිපියකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.
Comments
Post a Comment